රජයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුප් හිමිකමට සංශෝධනයක්
2016 ජනවාරි 1 වන දිනෙන් පසු බඳවාගත් රාජ්‍ය නිලධාරීන්ගේ පත්වීම් ලිපිවල විශ්‍රාම වැටුප් හිමිකම සම්බන්ධ විධිවිධාන සංශෝධනය කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.
2016 ජනවාරි 01 දින සිට රාජ්‍ය සේවයට බඳවාගත් සියලු රාජ්‍ය නිලධාරින්ගේ විශ්‍රාම වැටුප් හිමිකම් පිළිබඳව රජය විසින් නව තීරණයක් ගෙන තිබූ බව සඳහන්.
2016 අයවැය යෝජනාවකට අනුව, එම දිනයෙන් පසු රාජ්‍ය සේවයට පැමිණි නිලධාරින්ගේ පත්වීම් ලිපිවල, ඉදිරියේදී හඳුන්වා දෙන නව විශ්‍රාම වැටුප් ක්‍රමයකට යටත් විය යුතු බව සඳහන් කර තිබුණා.
කෙසේ වෙතත්, එවැනි නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බැවින්, 2026 අයවැය මඟින් එම නිලධාරින්ට පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ හිමිකම් තහවුරු කිරීමට යෝජනා කර ඇති බව වාර්තා වනවා.
මේ අනුව, 2016 ජනවාරි 01 දිනෙන් පසු රාජ්‍ය සේවයට බඳවාගත් සියලු නිලධාරින්ගේ පත්වීම් ලිපි සංශෝධනය කර, එම පත්වීම් විශ්‍රාම වැටුප් සහිත බව පැහැදිලිව සඳහන් කිරීමට නියමිතයි.
තවද, එම නිලධාරින් වැන්දඹු හා අනත්දරු හෝ වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට අනිවාර්යයෙන් දායක විය යුතු අතර, රජය විසින් නියම කරන පරිදි ඒ සඳහා දායක මුදල් ගෙවිය යුතු වනවා.
මෙයට අදාළ චක්‍රලේඛ නිකුත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බව රජය සඳහන් කරනවා.