රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නැහැ - අමාත්‍ය බිමල් රත්නායක
හිටපු කථානායක අශෝක රන්වල මහතා සහතිකය ඉදිරිපත් කිරීමට ඕනෑම තරම් කාලය ගත වී ඇති බැවින් දැන් ඔහුට සහතිකයක් නොමැති බව තමන් සිතන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රූපවාහිනී නාලිකාවක දේශපාලන වැඩසටනකට එක්වෙමින්.
අශෝක රන්වල මහතා තම ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කරන බවට ලබාදුන් පොරොන්දුව වසරකට වැඩි කාලයක් ගත වී ඇතත් මෙතෙක් ඉටු කර නොමැති බවද ඔහු පවසනවා.
ඒ මහතා කියා සිටින්නේ ඒ හේතුවෙන් පක්ෂයක් ලෙස ඔහුට දිය හැකි උපරිම දේශපාලන දඬුවම ලබාදී ඇති බවයි.
රන්වල මහතා කථානායක ධූරයෙන් ඉවත් කරනු ලැබුවේ නියමිත කාලය තුළ සහතිකය ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ නිසා බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.
“ඔහු රටේ තුන්වැනි පුරවැසියා. සහතිකය ඉදිරිපත් කරන්න අවශ්‍ය තරම් කාලය දැන් ගත වෙලා. මම හිතනවා දැන් එතුමාට සහතිකයක් නැහැ කියලා. කථානායක ධුරයෙන් ඉවත් කිරීම කියන්නේ පුද්ගලයෙකුට දේශපාලනිකව සහ පෞද්ගලිකව දිය හැකි බරපතළම දඬුවමයි,”