නීතිපතිවරයා ඉවත් කිරීමේ ගැන කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අරගෙන නැහැ
නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා නොකළ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (22) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
"සමාජ මාධ්‍ය තුළ කුමන ආකාරයේ වාර්තා පළ වුවත් නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ කිසිදු සාකච්ඡාවක් සිදු කර නැහැ. නීතිපතිවරයා ආරක්ෂා කළ යුතු බවට සමාජ මාධ්‍ය අදහස් පළ වෙනවා.
ඔහු ඉවත් කළ යුතු බවට සමාජ මාධ්‍ය වාර්තා පළ කරනවා. නීතිපතිවරයා පමණක් නොවෙයි අධිකරණ අමාත්‍යවරයාත් ගෙදර යවන්න කියලා සමහර සමාජ මාධ්‍ය වාර්තා පළ කර තිබුණා.
මට කියන්න තියෙන්නේ මෙච්චරයි. අධිකරණ ඇමති ගැන හෝ කවුරු හරි ගැන පැමිණිලි තිබෙනවා නම් මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක වෙනවා. පැමිණිලි කරන්න පුළුවන්.
සමාජ මාධ්‍යවල පළ කරන දේවල්වලට ආණ්ඩුවේ සම්බන්ධයක් නැහැ. නීතිපතිවරයා ඉවත් කිරීම ගැන හෝ දෝෂාභියෝගයක් පිළිබඳව කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා වෙලා නැහැ."