×

Search News

LATEST NEWS

බංගලියන්ගේ තීන්දුව ICCයට දැනුම් දෙයි?

තවත් දින කිහිපයකින් ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවට යාම පිලිබඳ අවසන් තීන්දු බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අද (22) පස්වරුවේ දැනුම් තිබුණා.

ඔවුන් මෙම තීන්දුව ගෙන තිබුණේ අවසන් තීරණය ලබා දීමට ICCය විසින් බංග්ලාදේශයට පැය 24ක කාලයක් ලබාදුන් පසුබිමකයි.

මේ අනුව බංග්ලාදේශය ඉන්දියාවේ දී ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා නොකරන බවට පෙර සිටි දැඩි තීරණයේ එලෙසින්ම සිටින බව ICCය වෙත දැනුම් දී තිබෙනවා.

එරට ක්‍රිකට් ආයතනය මෙම තීන්දුව ගෙන ඇත්තේ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ රජයේ ක්‍රීඩා උපදේශකවරයා අතර ඩකා නුවරදී පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුවයි.

බංග්ලාදේශය තම T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ඉල්ලා සිටින අතර එම ඉල්ලීම නැවත වරක් ICCය වෙත දැනුම් දී තිබෙනවා.

එම සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් BCB සභාපතිවරයා සඳහන් කර ඇත්තේ ICC විසින් පැය 24ක කාල සීමාවක් දී ඇති බවට තමන්ට දැනුම් දුන්නද එවැනි අවසාන කාල සීමාවක් නිකුත් කිරීම ගෝලීය ක්‍රීඩා ආයතනයකට නොගැලපෙන ක්‍රියාවක් ලෙසයි.

"ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමේ අපේ සැලසුම නැවතත් ICCය වෙත ඉදිරිපත් කරනවා. පැය 24ක කාලයක් දීලා තියෙනවා කියලා කිව්වත්, ගෝලීය ආයතනයකට එහෙම කරන්න බෑ.

බංග්ලාදේශය ඉවත් වුණොත් ලෝක කුසලාන නැරඹීමට සිටින මිලියන 200කට අධික ජනතාවක් ICCට අහිමි වෙනවා. ඒක ICCට පාඩුවක්".

තවද ICC ය විසින් ශ්‍රී ලංකාව සම සත්කාරකයින් ලෙස හැඳින් වුවද එය නිවැරදි නොවන දෙයක් දෙයක් බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

"ශ්‍රී ලංකාව සම-සත්කාරකයින් නොවේ. මේක දෙමුහුන් ආකෘතියක්. ICC රැස්වීමේදී අහන්න ලැබුණු ඇතැම් නිසා ඇත්තටම අපි කම්පනයට පත්වුණා".

මේ අතර එරට රජයේ ක්‍රීඩා උපදේශක අසිෆ් නස්රුල් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ සිය තරඟ ශ්‍රී ලංකාවේ දී තරඟ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.

"අපිට ICC එකෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඉන්දියාවට නොයන්න කියලා තීරණය කරලා තියෙන්නේ අපේ රජයයි"

මේ අතර ඊයේ (21) පැවැති ICC මණ්ඩල රැස්වීමෙන් පසුව ICC විසින් බංග්ලාදේශය ඉදිරිපත් කළ ආරක්ෂක ගැටළු ප්‍රශ්නය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එහිදී ICCය පෙන්වා දී තිබුණේ ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට එකඟ නොවී සිටියහොත් ලෝක කුසලාන තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කර වෙනත් කණ්ඩායමක් ආදේශ කරන බවයි.

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රීඩාංගණ ගැටළුව පිළිබඳව ICC දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය චෝදනා කරනවා.

අද (22) ඩකා හිදී පැවැති මාධ්‍ය හමුවකදී එහි සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ 2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ තරඟ පාකිස්ථානයේ ක්‍රීඩා කිරීමට ඉන්දියාව අකමැති වූ අවස්ථාවේදී ඉන්දියාවේ එම තරඟ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත රැගෙන ගිය බවයි.

කෙසේ නමුත් තමන් ලබන මස ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලානයේ බංග්ලාදේශයේ තරඟ පමණක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට රැගෙන යන්නැයි කළ ඉල්ලීම ඔවුන් ප්‍රතික්ෂේප කළ බවද ඔහු මෙහිදී සඳහන් කරනවා.

ඔහු චෝදනා කරන්නේ ඉන්දියාව චැම්පියන්ස් කුසලානයේ තරග එකම ක්‍රීඩාංගණයක එනම් ඩුබායිහිදී ක්‍රීඩා කිරීමට ICCයෙන් වෙනම වරප්‍රසාදය ලබාගත් බවයි.

මෙම තීරණ සසඳා බැලීමේ දී ICC දෙබඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා පවසනවා.

Previous Article Next Article