×

Search News

LATEST NEWS

විස්සයි විස්ස ලෝක කුසලානයේ දී බංගලියන්ගේ තැන ස්කොට්ලන්තයට

ලබන මස ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියෙන් බංග්ලාදේශය ඉවත් කිරීමට ගත් ICC හි අවසාන තීරණය නිකුත් කර තිබෙනවා.

මේ අනුව බංග්ලාදේශයේ අවස්ථාව ස්කොට්ලන්තයට ලබාදීමට තීරණය කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (24) ලිපියක් මඟින් බංග්ලාදේශයට දන්වා ඇති බව වාර්තා වනවා.

තම ආරක්ෂක ගැටළු සම්බන්ධව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිසි විසඳුම් ලබා නොදුන් බව පවසමින් බංග්ලාදේශය මෙම තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කිරීම සමඟ බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය නිල වශයෙන් නම් කළ බව ICC ආයතනය ඊයේ (23) නිවේදනය කර තිබුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂාගේ ප්‍රධානත්වයෙන් ඩුබායි හි පැවැති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.

බංග්ලාදේශය මෙම ගැටළුව ICC ආරවුල් නිරාකරණය කිරීමේ කමිටුවට යොමු කරන ලෙස ද ඉල්ලා සිටිය ද එම කමිටුවට ICC හි අවසන් තීරණයට එරෙහිව අභියාචනාවක් සිදු කිරීමට ඉඩක් නොමැති බවද වාර්තා වනවා.

පසුගිය බ්‍රහස්පතින්දා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව තරඟාවලිය වර්ජනය කිරීමට තීරණය කළ බවද බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

මෙම තීරණය සමඟ මීට පෙර විස්සයි විස්ස ලෝක කුසලානය 5කට සහභාගී වී ඇති ස්කොට්ලන්තයට නැවත වරක් අවස්ථාව උදා වුණා.

ඒ අනුව ඔවුන් 2022 සහ 2024 වසරවල දී දක්ෂතා දැක්වුව ද සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට හැකි වුණේ නැහැ.

කෙසේ 2024 වසරේ පැවැති ලෝක කුසලානයේ දී ඕස්ට්‍රේලියාවට සහ එංගලන්තයට දැඩි අභියෝගයක් එල්ල කිරීමට සමත් වුණා.

යුරෝපීය සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ දී ස්කොට්ලන්තය, නෙදර්ලන්තය සහ ජර්සි යන රටවලට පිටුපසින් සිටියද ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටීම හේතුවෙන් ස්කොට්ලන්තයට මෙම අවස්ථාව හිමිව තිබෙනවා.

මේ අනුව ස්කොට්ලන්තය C කාණ්ඩය යටතේ එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඉතාලිය සහ නේපාලය සමඟ තරඟ කරනු ඇති.

ඔවුන් තරඟාවලියේ සහභාගී වන පළමු තරඟය ලබන 7 වනදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Previous Article Next Article