ඉන්දියාවට එරෙහිව අනෙක් රටවල් නැගී සිටින්න ඕනේ - පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති
ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ අවශ්‍යතා මත පමණක් කටයුතු කරන බවට එල්ල වෙමින් ඇති චෝදනා හමුවේ අනෙක් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් ද බංග්ලාදේශයට සහාය විය යුතු බව පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති නජම් සේති පවසනවා.
ක්‍රීඩකයින් සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් පසුව ලෝක කුසලානයෙන් ඉවත් වීමට බංග්ලාදේශය ගත් තීන්දුව සම්බන්ධව අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ ICC ඉන්දියාවේ මතයට පමණක් හිස නැමීම වැලැක්වීමට අනෙක් ජාතීන් ඉදිරිපත් විය යුතු බවයි.
කෙසේ වෙතත් බංගලදේශයේ මෙම විරෝධය හමුවේ පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිහඬව සහාය දැක්වුව ද එය මෙතෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ සිදු නොකිරීම ද විශේෂත්වයක්.
පාකිස්ථානය වැනි රටවල් බංග්ලාදේශය වෙනුවෙන් පෙනී සිටියහොත් මෙය ඉන්දීය ක්‍රිකට් කවුන්සිලය නොව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බව ICCයට වැටහෙනු ඇති බවද ඔහු සඳහන් කරනවා.
“බංග්ලාදේශය ලෝක කුසලානය වර්ජනය කිරීමට තීරණය කළා; දැන් බලන්න තියෙන්නේ පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ගන්නා තීරණය මොකක්ද කියලා. වත්මන් සභාපති මොහ්සින් නක්වි ක්‍රීඩාව ගැන හොඳින් දන්නා කෙනෙක්. ඔහු ගන්නා ඕනෑම තීරණයක් නිවැරදි එකක් වේවි. පකිස්ථානයට පස්සේ අනෙක් රටවල් මේ වෙනුවෙන් නැගී සිටියොත් ICCයට තමන්ගේ වගකීම තේරුම් ගන්න පුළුවන් වෙයි".
මේ අතර ඉන්දියාව සිය ක්‍රීඩකයින්ට අනාරක්ෂිත බව පෙන්වා දෙමින් ආරක්ෂක හේතූන් මත බංග්ලාදේශය 2026 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධ නිල නිවේදනය ICC අද (24) පස්වරුවේ නිකුත් කළා.
මේ අනුව බංගලාදේශය වෙනුවට එම ඛාන්ඩයට ස්කොට්ලන්තය නම් කර තිබෙනවා.