×

Search News

LATEST NEWS

ඉන්දීය ප්‍රහාරයට සැකපිට වෛද්‍යවරු තුන්දෙනෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තිදෙනෙක් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු කාශ්මීරයේ පදිංචිකරුවන් බවයි.

අනෙක් සැකකරු ලක්නව් පදිංචි අයෙක් බවද සඳහන්.

ඊයේ (10) දිනයේ ඉන්දියාවේ නවදිල්ලි නුවර රතු බලකොටුව අසල මෙට්‍රෝ දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේ රථවාහන සංඥා කණුවක් අසල මෝටර් රථයක් තුළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයින් 20 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

මෙහිදී මෝටර් රථයේ සිටි පුද්ගලයා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බවට මේ වන විට එරට ආරක්ෂක අංශ සැකපළ කරනවා.

ඔවුන් අනුමාන කරන්නේ ඔහුද වෛද්‍යවරයෙකු විය හැකි බවයි.

කෙසේ වෙතත් පිපිරීමේ වගකීම මෙතෙක් කිසිදු ත්‍රස්ත සංවිධානයක් විසින් භාරගෙන නැහැ.

මේ අතර ඉන්දියාවේ දිල්ලි අගනුවර සිදුවූ පිපිරීම පිළිබඳව ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ශෝකය පළ කර තිබෙනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා සඳහන් කරන්නේ අදාළ පුවත සැලවූ විගස තමා දැඩි සංවේගයට පත්වූ බවයි.

Previous Article Next Article